Wednesday, July 13, 2011

සරසවි බිම හා සරසවි සිසුවාගේ අනාගතය!

නූතන මානවසමාජයේ අබි වෘදිය කෙරෙහි බලපාන්නාවූ හේතුප්‍රත්‍යක්ශ අතර රටක තිබෙන්නාවූ සාක්ෂරතාව  ඍජු බලපෑමකට ලක්වීම සිදුවේ. එය හුදෙක් රටක සාමාජික මට්ටම මෙන්ම, ආර්තික මට්ටම කෙරෙහිද ඉතා සූක්ෂම අයුරින් අවධානයට ලක්වීම සිදුවේ. එය රන්කිරි කටගා  ගල්ලෑල්ලේ අකුරු කොටන්නාවූ මොන්ටිසෝරි ලදරුවා සිට රටකට බුද්ධිමතුන් බිහිකරන්නාවු සරසවි බිමේ කොල්ලා කෙල්ලා දක්වායන මාර්ගයේ දිස්වන්නාවූ දර්ශණයකි. වර්තමානයේ සුභ අනාගතයක් යැයි පුරසාරම් දොඩනා රටේ ඇතැම් වගකියයුතු පාර්ශවයන් රටේ විශ්වවිද්‍යාලීය සිසුන් හට තිත්ත බෙහෙත් පොවා ,තිත්ත ටොපියක් බැස්සවීමට අරාදින  ආකාරයයි. රටක උගතුන් බිහිකරන්නාවූ කේන්ද්‍රස්ථාන සඳහා අද කුඩම්මාගේ සැලකිලි ලබමින්, සරසවි අධ්‍යාපනයට අදවනවිට කනකොකා හඬා ඇත. අද වනවිට දේශනශාලා අමුසොහොන් පිට්ටනියක් මේන්, පාලු අම්බලම් මෙන් ගොඩනැගිලි වලට පමනක් සීමාවී ඇත. සරසවි ඇදුරන්ගේ සැබෑ තත්වය පිච්චියකටවත් මායිම් නොකරන දේශපාලනඥයින් බඩගෝස්තරවාදය ‍රැකගනුපිනිස අද වනවිට රටේ සරසවි අධ්‍යාපනය බිල්ලට දීමට සැරසීසිටී. රටේ උගතුන් බිහිකරන්නාවූ උගතුන් හට සිදුකරන්නාවූ සමාජ අසාධාරණය,රටේ අනාගතයක් භාරවසිටින මුලුමහත් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් දැඩිලෙස හෙලාදකින්නෙමු.
අදවනවිට සරසවි ගුරුන්හට ලැබෙන්නාවූ වැ‍ටුප ලෝකයේ අන්කිසිම රටකටත් වඩා පහල මට්ටමක පවතී. අධාපන මට්ටමට අනුව රටක ඉහලම වැ‍ටුප් දැරියයුතු පිරිස අතර ඔවුනට ලැබීඇති ස්ථානය කුමක්ද?
මෙහි සියලුම වගකීම් දැරියයුත්තේ රටක් පාලනය කරනා රජයක් විසින්ය, කොටින්ම අමාත්‍යංශයක් පාලනය කරනා මැති ඇමති ගොල්ලන් හටය.කනගා‍ටුවට ඇති කරුණනම් රටේ අධ්‍යාපනය වෙනුවෙන් රජයක් ලෙස ක්‍රියාකර ඇති ආකාරයයි. පසුගිය වසර දෙකතුලදී අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන් කල අගය 2.1% වන අතර, එයින් උසස් අධය්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රමානය 0.5% පමන අඩු අගයකි. එය අනෙකුත් රටවල් හා සංසන්දනයේදී ඉතා කනගා‍ටුවට ලක්වියයුතු කරුනකි.උදාහරණයක් ලෙස සාක්ෂරතාව අප රටට වඩා පහල මට්ටමක ඇති මොන්ගෝලියාව 9% ද,කියුබාව 18.7% ද,යේමනය 9.5% ද, මැලේසියාව 8.1% ද, ඔවුන්ගේ දළ ජාතික නිෂ්පාදනයෙන් අධය්‍යාපනය සඳහා වෙන්කර ඇත. 2008 වසරේ සංඛ්‍යා ලේඛන වලට අනුව අධය්‍යාපනයට 2.31% ක් වැය කරද්දී ,උසස් අධය්‍යාපනය සඳහා වැය කර ඇත්තේ 0.31% ක් බවයි. එම වසර රටේ පැවති වාතාවරනය අනුව යුද්ධය මත එම වරද පැටවිය හැක, එය මුළු මහත් ජාතියක් වෙනුවෙන් එකාවන්ව ඉවසා දරා සිටි සිටියේය. එයට සරසවි ඇදුරන්ගේද නොමද සහය ලැබුනි, මක්නිසාදයත් ඔවුන් විසින් එම අවස්ථාවේදී තමාට ලැබෙන්නාවූ මාසිකවේතනය වෙතබලා ලදදෙයින් සතු‍ටුවී යුධ ජයග්‍රයනයට දැක්වූ නොමද සහය නිසාවෙනි. නමුත් අදට යුද්ධය අවසන්වී වසර දෙකක කාලයක් ගතවී ඇතත්,අපි යුද්ධයෙන් පසුවද දළ ජාතික නිශ්පාදනයෙන් 3.5%ක් වූ පුළුල් අගයක් ආරක්ෂා කටයුතු සඳහා වෙන්කර තිබීම විහිළු ගන්වන කරුනකි. යුද්ධය පවතින අවදියේදී වෙන්කරාවූ මුදල් ප්‍රමානයට ආසන්න ප්‍රමානයක් යුධ වාතාවරනයක් නොපවතින වර්තමානයේ වෙන් කිරීම සැබවින්ම පුදුමය දනවන සුළුය. රජය හට මෙම සරසවි ඇදුරන්ගේ අරගලය සඳහා මෙමගින් විසඳුමක් දීමට අපොහොසත් වන්නේමන්ද?
 සුභ අනාගතයක් පෙර‍ටුකොටගනිමින් පසුගිය දෙවසර තුලදී මහින්ද චින්තනයයටතේ සිරිලංකාවේ හතර දිග්බාගයේ ඉදිකෙරුනු ඉදිකිරීම් සලකාබැලීමේදී රටට සිදුකල ලාබය කුමක්ද යන්නයි! මෙම වසරේදී ක්‍රිකට් ලෝකකුසලාන තරඟා වලියේ සත්කාරකරටක් ලෙස කටයුතු සිදුකිරීමට හැකිවීම සතුට දනවන කරුනකි. කනගා‍ටුවට ඇති කරුනුනම් මෙයින් ඇතිවූ ලාභය කුමක්ද යන්නයි. අද වනවිට ක්‍රිකට් පරිපාලන කමි‍ටුව පත්වීඇති මූල්ය්‍යමය වංචා හා තරඟ ප්‍රවේශපත්‍ර වලින් ඇතිවූ පාඩුව නම් සුලුප‍ටු නොවේ, මෙතරම් ධනස්කන්ධයක් නාස්තිකිරීම රටක අනාගතය භාරගන්නා ඉදිරිඅනාගතයට මරුපහරකි.  තවද ලෝකයේ ලොකුම පිටිය යැයි පවසමින් සිදුකලාවූ ඉදිකිරීම,කෙතරම් මහජන මුදල විනාශ කිරීමක්ද? මෙහි වරද ඇත්තේ පිටිය තැනීම නොව පමනට වඩා ඔද තෙද පෙන්වීමටයාමය. එම පිටියේ තරඟ නැරඹීමට අපිද ගියෙමු, පන්දුව නැරඹීමට දුරදක්නයක් සෑම ප්‍රේක්ශකයකු හට ලබාදියයුතුය, එතරම් වපසරියක් එයට වෙන්කොට ඇත. සෑම  ප්‍රේක්ශකයකුම හට පන්දුව දැකබලාගැනීම නොහැකි පිටියකින් ඇති ඵලය කුමටද? මෙවැනි කිසිම හරයක් නොමැති ක්‍රියාවන් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම කෙතරම් අනුවණ ක්‍රියාවක් නොවේද? මෙවැනි කාබාසිනිකර දමනා මුදලින් සරසවි ගුරු වැ‍ටුප් අර්බුදය විසඳා රටේ බුද්ධිමතුන්හට ඔවුන්ගේ නිදහස් අධය්‍යාපනයේ පහස හරිආකාරයකින් විඳීමට අවස්ථාව සලසා ලබාදිය යුතුය.
උසස් අධය්‍යාපන අමාත්‍යවරයා පවසන පරිදී එම වැ‍ටුප් වඩිකිරීම නොහැකිබවත්,එසේ වැඩිකරතොත් රටේ අනෙකුත් පාර්ෂවයන්ගේද වැ‍ටුප් වැඩි කලයුතුබවයි. තවද ඔවුන්ගේ වැ‍ටුප් වැඩිකිරීම අසාධාරණ බවයි. අවධාරණයෙන් කිවයුතු කරුනක් වන්නේ; ඔවුන් ඉල්ලා සිටින්නේ වැ‍ටුප නොව උසස් අධ්‍යාපනයට හිමි නිසි ගෞරවය යලි දිනාගැනීමටය. එසේ ප්‍රකාශකරදී ආණ්ඩුවේ භාන්ඩාගාරයේ මුදල් නැතිබව ප්‍රකාශ කරමින් සිදුකරනා ප්‍රෝඩාකාරී දෙබිඩි ප්‍රතිපත්තීන් ඇත්තෙන්ම පිළිකුල් සහගතය. ආචාරවරුන්ගේ වැ‍ටුප් ඉහල දැමීම සඳහා  වැයවෙන මුදල රු.මිලියන 2000 කි. මෙම ප්‍රමානය ගෙවීමට නොහැකියැයි කන්කෙඳිරිගානා ආණ්ඩුව රටේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගනනින් විනාශකල ආකාරය කෙතරම් අමානුෂික නොවේද? පසුගියදා ආණ්ඩුව විසින් ඇමරිකාවෙන් ගෙන්වන ලද අති සුඛෝපබෝගී ලිමොසින් රථ තුන සඳහා වැයකල මුදල මිලියන 2100කි. තවද අයිෆා උළෙල සඳහා විනාශ කල මුදල මිලියන 100කි, හමුදා පුහුනුව සඳහා වැයකල මුදල මිලියන 900කි. ආණ්ඩුව විසින් විනාශ කලාවූ මේ විශාල ධනස්කන්දය ආචාර්ය්‍ය වැ‍ටුප් වැඩිකිරීමට යෙදවූයේ නම් , වර්තමානයේ සරසවි සිසුන්හට මෙවැනි සෝචනීය තත්වයකට වැටීමට ලක් නොවෙනුඇත.
අවසානයට ආණ්ඩුවට හා එක එක පරිපාලන දූෂකයන් හට ප්‍රකාශකිරීමට දෙයක් ඇත! රටේ සිටිනා බුද්ධිමය ප්‍රජාවහට ඔබලා විසින් සිදුකරනා සැලකීම ඉතා පහත් ගනයේය. ආචාර්ය්‍යවරයෙක් යනු රටකට සිටිනා බුද්ධිමය දේපලකි, ඔවුන් ‍රැකගැනීම මුලුමහත් ශ්‍රි ලාංකික ජාතියක් වෙනුවෙන් සුදුකරනා මහඟු සේවයකි. පරදේසක්කාර සල්ලිකොල සුවඳට ලොල් වෙමින් ජාතිය පාවාදෙන ඇතැම් දේශපාලුවන්හා, ඔවුන්ගේ හෙන්චයියන් රටේ ජාතික ධනය සූරාකනවිට, රටේ නොදියුනු බාවය තවතවත් ඉස්මතුවේ. මේ අනුව ඉමහත් බලාපොරොත්තුවෙන් සරසවි බිමට පා තබනා, අසරණ දෙමාපියන්ගේ දරුවන්හට සිදුවන්නාවූ අසාධාරණය මෙපමනයිකියා කිව නොහැක. අවසානයේ ඔවුනට සිදුවන්නේ හැමදාමත් පාරක්,වටරවුමක් අසල බෝඩ්කෑලි ඔසවමින් උද්ඝෝෂනය කිරීම පමනි. දැන් මෙය වෙනස් කිරීමට කාලය පැමින ඇත, සරසවි සිසුවනි ඔබගේ ජවය පෙන්වීමට ඇති හොඳම කාලය එලෙඹ ඇත,අපි එක්වෙමු, සරසවි නිදහස ජයගමු!!!!

0 comments:

Post a Comment

;